Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

Posts Tagged ‘විරහව’

මේ වැටෙන්නේ ආදරයේ උණුම උණු කඳුළු බිඳුවයි …………..

Posted by lostinromance මත ජූලි 17, 2011

සිත යකාගේ කම්මලක් මෙන් වෙයි. ඔබ කරන දේවල් ගැන වැටහීමක් නොමැතිව යයි. සාංකාවක් වැනි හැඟීමක සිරවී පැය ගණන් දැවී අළුවී යයි. නැවත ගොඩ ඒමක් නොමැති බව ඔබට හැඟෙයි. කිසිම දෙයක් කිරීමට හිත හදාගත නොහැක. අතීත මතකයන් අතර සිරවී ඇත. ඔබට ලෝකය එපා වී යයි. ලෝකයට ඔබව එපා වී ඇතැයි හැඟෙයි. ලෝකය ඔබව තනිකර දමා ඇත.

එය හා සම කල හැකි වෙනත් හැඟීමක් මානව හැඟීම් අතර නොමැත. ඔබගේත් ආදරය අහිමිවී ගියාද? දරාගත හැකි නොහැකි ඒ හැඟීම ඔබව ටිකින් ටික මරා දමමින් සිටී ද? ඒ හැඟීම වටහාගත හැක්කේ වරක් එය අත් දැක ඇති කෙනෙකුටම පමණි.

මෙවැනි තත්වයකදී අනුගමනය කල යුතු උපදෙස් පොත් වල, වෙබ් අඩවිවල කොතරම් තිබුනත් එවැන්නක් සිදු වූ මොහොතක ඔබට ඒවා බලන්නට වත් හිතෙන්නේ නැති බව ඇත්තය. බැලුවත් ඒවායේ තියෙන දේවල් කරන්නට කරන්නට පුළුවන්ද යයි ඔබට සිතෙනු ඇත. එහෙත් මා විශ්වාස කරන්න, ඔබට දැනෙන හැඟීමම මේ ලෝකයේ බොහෝ දෙනා ජීවිතයේ එක් වරකදී හෝ මීට පෙර අත්දැක ඇත. එය අතිශයින් සාමාන්‍ය දෙයකි. එබැවින් ඔබ දැන් අත්විඳින දුෂ්කර සහගත කාලයෙන් ගැලවීමක් නොමැත. ඔබට කළ හැක්කේ එම කාලය කෙටි කර ගැනීම පමණි.

ආදරය බිඳ වැටුන මොහොතේ කළ යුත්තේ කුමක්ද?

1. ඔබේ ජීවිතයේ එදිනෙදා කරන සාමාන්‍ය දේවල් අතපසු නොකරන්න.

– කෑම, බීම වෙලාවට ගැනීම අතිශයින්ම වැදගත්ය. නෑම ඒ හා සමානව වැදගත්ය. හැකිතරම් ජලය පානය කරන්න.

2. ව්‍යායාම්

– ඔබ සාමාන්‍යයෙන් ව්‍යායාම් කරන අයෙක් නම් එය නොකඩවා කරගෙන යන්න. නොකරන අයෙක් නම් දිනකට සුළු වෙලාවක් හෝ ව්‍යායාම්වල නිරත වීමට උත්සාහ කරන්න.

3. සිහිවටන ඇස නොගැටෙන ලෙස තබන්න.

– ඔබ දෙදෙනාගේ ආදරය නැවත නැවත සිහිවන දෑ අසල තබා ගැනීමෙන් වළකින්න. පින්තූර, සිහිවටන, SMS ආදී සියල්ල විනාශ කර දමන්න. එසේ කිරීමට අපහසු නම් නොපෙනෙන මානයක තබන්න.

4. හැකිතරම් මිතුරන්, පවුලේ අය සමඟ කාලය ගත කරන්න. නිවසේ හුදකලාව සිටීමෙන් වළකින්න.

5. මත්පැන් කෙටි කාලීන පිළිතුරක් ලෙසට හැඟී යා හැකි නමුත් එය ඔබව තව තවත් වියවුලට පත් කරන බව මතක තබා ගන්න.

කාලය ඔබේ සන්තාපයට විසඳුම් ලබා දෙනු ඇති. ඉවසීමෙන් කාලය ගත කරන්න. දුකට ඔබව පරාජය කිරීමට ඉඩ නොදෙන්න.

Advertisements

Posted in ආදරය, Uncategorized | Tagged: , , , , | 2 Comments »

සොඳුරිය

Posted by lostinromance මත පෙබරවාරි 14, 2010

සොඳුරිය….
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැක ගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය ….

පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය ….

ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය ….


ආදරයත් එක්ක අවියෝජනීයව බැඳී තියෙන තවත් දෙයක් තමයි විරහව. මම මෙහෙම කිව්වහම පාඨ‍ක ඔබ හිතයි ඇයි මේ වැලන්ටයින් දවසේ විරහව ගැන කථා කරන්නේ කියලා. ආදරවන්තයන්ගේ දවසේ හැමෝම ආදරය ගැන කථා කරන හින්දා මම හිතුවා ඊට වෙනස්ව ගිහින් ආදරයේ විරහව ගැන කථා කරන්න ඕනෙ කියලා.

ඒත් එක්කම මගේ මුවට ආපු ගීතය තමයි ඔය ඉහත ලියවිලා තියෙන්නේ. මම මාර ආස කරන සින්දුවක්. ඉතිං විරහව ගැන කථා කරන එක පැත්තකින් තියලා මේ සුන්දර ගීතය ගැන කථා කළාට කවුරුවත් මාත් එක්ක තරහ වෙන එකක් නෑනේ. මේ ගීතය තියෙන අපූර්වත්වය තමයි මේ ගීතයේ කියවෙන ප්‍රේමය බිඳී යාමට වරදකරුවා ලෙස ප්‍රකාශ වෙන්නේ “කාලය”. ඒකට හේතුව තමන්ගේ පෙම්වතියගේ වැරැද්දක් වත් තමන්ගේ වැරැද්දක්වත් නොවන බවයි මේ පරාජිත පෙම්වතා පවසන්නේ. ඇත්තටම පරාජිත ආදරයක දී පෙම්වතියගේ වරදින් එය සිදු වුනා නම් ඒක ගැන හිතලා හරි අමාරුවෙන් අමතක කරලා දාන්න පුළුවන්. තමන්ගේ අතින් වුන වැරද්දකින් ඒක සිදු වුනා නම් සදාකාලික පසු තැවිල්ලක් ඉතිරි වෙයි. ඊට වෙනස්ව බාහිර හේතුවක් නිසා සිදු වුනු හෝ බාහිර දෙයක් වෙතට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් හේතුවක් නිසා එය සිදු වුනා නම් ඒක වෙනස්ම විදියක අත්දැකීමක්.

මේක ඉතාමත් අමාරුවෙන් සොයා ගත්තු ආදරයක් බව “පෙරුම් පුරා දුකසේ ගලපා ගත්” “ලොවට හොරා විලි ලා බිහි කර ගත්” වැනි යෙදුම් තුලින් මේ පෙම්වතා අපිට අඟවනවා. අමාරුවෙන් හොයා ගත්තු ආදරයක් කැඩිලා බිඳිලා ගියාම ඇති වන වේදනාව ඉතින් කියන්න ඕන නෑනේ. ඒක හරියට හදවත ඉරි තැලී ගියා වගේ අත්දැකීමක්. කාලයත් එක්ක ඉරි තැලීම් එකතු වෙලා ගියත් එයින් ඇති වුනු රේඛා මැකෙන්නේ නෑ. ඒවා සදාකාලිකයි. ආදරය කරන කාලෙදි හිතේ තියෙන සුන්දරම කවිය තමයි තමන්ගේ ආදරවන්තිය. ආදරය බිඳ වැටිලා සිහින මාලිගා කඩා වැටුනට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒ හීනයෙන් ඈත් වෙලා අපේ ජීවිත සටනේ යෙදෙන කොට එයා අපේ හීන වලින් ඈත් වෙලා යනවා. ඒක තමයි ඇත්ත. ඒත් හදවතේ කාටවත් හොයා ගන්න බැරි තැනක තියෙන ඒ මතකය අපිව හුදකලාවේ ඉන්න මොහොතක අපිව මුසපත් කරනවා. ඒවගේ හුදකලාවේ ඉන්න ආදරවන්තයෙක් මුවින් ගැයෙන ගීතයක් විදියට තමයි මට මේක දැනෙන්නේ. “ඒ රුව කෙතරම් මිහිරි ද සොඳුරිද…” ඒ දවස්වල මවපු හීන වල සුන්දරත්වය මතක් වෙන කොට කාල තරණය කරලා නැවත ඒ මොහොතට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඉතින් මේ සේරම දේවල් වලට වරදකරුවා කාලය නැත්නම් වෙන මොකක්ද?

ආදරය කරද්දී බාධාවේ අගය ගැන මම කලින් පෝස්ට් එකක කථා කලානේ. මේ පෙම්වතාටත් තමන් විඳපු දුක් වල මිහිර දැන් තමයි දැනෙන්නේ. අනේ ඒ දවස්වල ඒක දුකක් කියලා හිතුවේ ඇයි? දුක් කම්කොටළුවලින් ඈත් වෙලා බාධා නැති සුන්දර ආදරය කියන මිරිඟුව හොයා ගෙන ගියාට පස්සේ තමයි තේරෙන්නේ දුක් කම්කොටළු පිරුණු පරණ ආදරයේ සුන්දරත්වය.

ඔබත් විරහවේ තියෙන අමුතු සුන්දරත්වය (?) අත්විඳලා බලන්න කැමති නම් නිහඬ පරිසරයක හුදකලාවේ ඉන්න රාත්‍රී කාලයක සඳ එළියේ ඉඳගෙන මේ ගීතය අහලා බලන්න. ඔබ විරහව අත්විඳලා නැතත් ඒක මොනවගේ දෙයක් ද කියලා පොඩ්ඩක් හරි තේරුම් ගන්න ඔබට පුළුවන් වෙන බවට කිසිම අවිශ්වාසයක් නෑ.

අමරසිරි පීරිස්ගේ හැඟීම්බර හඬින් ගැයෙන මේ ගීතයේ රචකයා වන්නේ සමන්ත හේරත්. පද වල අගය තීව්ර වන සේ සංගීතය මුසු කරලා තියෙන්නේ ප්‍රේමසිරි කේමදාස.

Posted in ආදරය, ගීත හා කවි, Uncategorized | Tagged: , , , , , , , | 4 Comments »

වැස්ස – The Rain

Posted by lostinromance මත නොවැම්බර් 18, 2009


ආයෙත් වැසි සමයක්. කොළඹ මල් පාරේ මල් ගස් හේදී ගෙන මෝසම් වැසි ඇද හැලෙද්දී වැස්සේ ඒ වැස්සට තෙමිලා දූවිලි ඉවත්වෙලා කාපට් පාර ඔපවත් වෙලා. පාර්ක් එකේ තුරු ලතා නැවුම් පෙනුමකින් අළුත් පණකින් අවදි වෙලා. රස්නය මැකිලා සුන්දර සිසිලසක් නගරය වෙලා ගෙන.

වැස්ස හින්දා වෙනස් වෙන්නේ බාහිර පරිසරයේ තියෙන දේවල් විතර ද? ආදරණීය මතකයන්, කඳුළු, සිනහා, දුක් සුසුම්. වැස්ස කියන්නේ මේ සියල්ලේම සංකලනයක්. වැස්සත් එක්ක අපේ හදවත්වල හැංගිලා තියෙන කොපමණ දේවල් මතුපිටට එනව ද?

වැස්සෙ තියෙන්නේ අමුතුම රිද්මයක්. මට හිතෙන හැටියට ඒක අපේ හදවතේ රිදම් එකට හරියටම මැච් වෙනවා. එක සීරුවට එක දිගට වහින වෙලාවක ඒකෙ හඬත් එක්ක ඒකාත්මික වෙලා ටිකක් වෙලා අහලා බලන්න. ඔබේ හදවතේ ඇති ගැඹුරුම මතකයන් අවදි වෙනවා ඔබට දැනෙයි.

සිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවළක් යන හැටි

මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි

[Amaradewa]

ඉතින් අද මේ ඇදහැලෙන වැස්සත් එක්ක මගේ හැංගිලා තිබුන ආදරණීය හීනයකට නැවතත් පණ ලැබුනා.  හීනය විස්තර කරන එක තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ හිත ආයෙත් පාරක් පෑරෙන එක විතරයි. ඒත් උඩට ආපු හීනය ආයෙත් නිදන්ගත ‍කරන්න වැස්ස ඉවරවෙනකම් ඉන්න වෙයි ද? එත් හෙටත් වැස්සොත්. දිගටම වැස්සොත්.

වැස්ස කවදාවත් ඉවර වෙන්නේ නෑ. මාස ගාණක් පෑව්වත් කොයි මොහොතක හෝ නැවතත් සුපුරුදු හඬින් වැස්ස ඇද හැලෙනවා. අපේ මතකයනුත් ඒ එක්කම නැවතත් පණ ලබනවා.

පෙම්වතුන්ට වැස්ස කියන්නේ ආශිර්වාදයෙක්. වැස්සට බනින පෙම් යුවළක් මට නම් කවදාවත් හමු වෙලා නෑ. ඒත් සමහර අයට නම් වැස්ස කියන්නේ දුක්බර මතකයන් අවදි කරන අවාසනාවන්ත හඬක් විතරයි. එත් ඒක කොච්චර අවාසනාවන්ත හඬක් වුනත් ඒ අය වැස්සට යටි හිතින් කැමතියි.

අනේ මේ වැස්ස දැන්වත් ඉවර වෙනවා නම්.

කමක් නෑ. එයත් මේ කුඩා නගරයේම කොහේ හෝ ඉඳගෙන මේ වැස්සෙ රිද්මයට මම වගේ ම කන් දෙනවා ඇති නේද?

I see dark clouds out my window
I know the storm is coming any minute
And the thunder just confirms my fears
And I know the tears are in it
I’ll be cryin unable to stop
Look here comes the very first drop
cause every time it rains
I fall to pieces
So many memories the rain releases
I feel you
I taste you
I cannot forget
Everytime it rains
I get wet
[Ace of Base]

Posted in ආදර කථා, ආදරය, ආදරය හා පරිසරය | Tagged: , , , , , , , , , , , , , | 2 Comments »