Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

Posts Tagged ‘ආලය’

සොඳුරිය

Posted by lostinromance මත පෙබරවාරි 14, 2010

සොඳුරිය….
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැක ගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය ….

පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය ….

ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය ….


ආදරයත් එක්ක අවියෝජනීයව බැඳී තියෙන තවත් දෙයක් තමයි විරහව. මම මෙහෙම කිව්වහම පාඨ‍ක ඔබ හිතයි ඇයි මේ වැලන්ටයින් දවසේ විරහව ගැන කථා කරන්නේ කියලා. ආදරවන්තයන්ගේ දවසේ හැමෝම ආදරය ගැන කථා කරන හින්දා මම හිතුවා ඊට වෙනස්ව ගිහින් ආදරයේ විරහව ගැන කථා කරන්න ඕනෙ කියලා.

ඒත් එක්කම මගේ මුවට ආපු ගීතය තමයි ඔය ඉහත ලියවිලා තියෙන්නේ. මම මාර ආස කරන සින්දුවක්. ඉතිං විරහව ගැන කථා කරන එක පැත්තකින් තියලා මේ සුන්දර ගීතය ගැන කථා කළාට කවුරුවත් මාත් එක්ක තරහ වෙන එකක් නෑනේ. මේ ගීතය තියෙන අපූර්වත්වය තමයි මේ ගීතයේ කියවෙන ප්‍රේමය බිඳී යාමට වරදකරුවා ලෙස ප්‍රකාශ වෙන්නේ “කාලය”. ඒකට හේතුව තමන්ගේ පෙම්වතියගේ වැරැද්දක් වත් තමන්ගේ වැරැද්දක්වත් නොවන බවයි මේ පරාජිත පෙම්වතා පවසන්නේ. ඇත්තටම පරාජිත ආදරයක දී පෙම්වතියගේ වරදින් එය සිදු වුනා නම් ඒක ගැන හිතලා හරි අමාරුවෙන් අමතක කරලා දාන්න පුළුවන්. තමන්ගේ අතින් වුන වැරද්දකින් ඒක සිදු වුනා නම් සදාකාලික පසු තැවිල්ලක් ඉතිරි වෙයි. ඊට වෙනස්ව බාහිර හේතුවක් නිසා සිදු වුනු හෝ බාහිර දෙයක් වෙතට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් හේතුවක් නිසා එය සිදු වුනා නම් ඒක වෙනස්ම විදියක අත්දැකීමක්.

මේක ඉතාමත් අමාරුවෙන් සොයා ගත්තු ආදරයක් බව “පෙරුම් පුරා දුකසේ ගලපා ගත්” “ලොවට හොරා විලි ලා බිහි කර ගත්” වැනි යෙදුම් තුලින් මේ පෙම්වතා අපිට අඟවනවා. අමාරුවෙන් හොයා ගත්තු ආදරයක් කැඩිලා බිඳිලා ගියාම ඇති වන වේදනාව ඉතින් කියන්න ඕන නෑනේ. ඒක හරියට හදවත ඉරි තැලී ගියා වගේ අත්දැකීමක්. කාලයත් එක්ක ඉරි තැලීම් එකතු වෙලා ගියත් එයින් ඇති වුනු රේඛා මැකෙන්නේ නෑ. ඒවා සදාකාලිකයි. ආදරය කරන කාලෙදි හිතේ තියෙන සුන්දරම කවිය තමයි තමන්ගේ ආදරවන්තිය. ආදරය බිඳ වැටිලා සිහින මාලිගා කඩා වැටුනට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒ හීනයෙන් ඈත් වෙලා අපේ ජීවිත සටනේ යෙදෙන කොට එයා අපේ හීන වලින් ඈත් වෙලා යනවා. ඒක තමයි ඇත්ත. ඒත් හදවතේ කාටවත් හොයා ගන්න බැරි තැනක තියෙන ඒ මතකය අපිව හුදකලාවේ ඉන්න මොහොතක අපිව මුසපත් කරනවා. ඒවගේ හුදකලාවේ ඉන්න ආදරවන්තයෙක් මුවින් ගැයෙන ගීතයක් විදියට තමයි මට මේක දැනෙන්නේ. “ඒ රුව කෙතරම් මිහිරි ද සොඳුරිද…” ඒ දවස්වල මවපු හීන වල සුන්දරත්වය මතක් වෙන කොට කාල තරණය කරලා නැවත ඒ මොහොතට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඉතින් මේ සේරම දේවල් වලට වරදකරුවා කාලය නැත්නම් වෙන මොකක්ද?

ආදරය කරද්දී බාධාවේ අගය ගැන මම කලින් පෝස්ට් එකක කථා කලානේ. මේ පෙම්වතාටත් තමන් විඳපු දුක් වල මිහිර දැන් තමයි දැනෙන්නේ. අනේ ඒ දවස්වල ඒක දුකක් කියලා හිතුවේ ඇයි? දුක් කම්කොටළුවලින් ඈත් වෙලා බාධා නැති සුන්දර ආදරය කියන මිරිඟුව හොයා ගෙන ගියාට පස්සේ තමයි තේරෙන්නේ දුක් කම්කොටළු පිරුණු පරණ ආදරයේ සුන්දරත්වය.

ඔබත් විරහවේ තියෙන අමුතු සුන්දරත්වය (?) අත්විඳලා බලන්න කැමති නම් නිහඬ පරිසරයක හුදකලාවේ ඉන්න රාත්‍රී කාලයක සඳ එළියේ ඉඳගෙන මේ ගීතය අහලා බලන්න. ඔබ විරහව අත්විඳලා නැතත් ඒක මොනවගේ දෙයක් ද කියලා පොඩ්ඩක් හරි තේරුම් ගන්න ඔබට පුළුවන් වෙන බවට කිසිම අවිශ්වාසයක් නෑ.

අමරසිරි පීරිස්ගේ හැඟීම්බර හඬින් ගැයෙන මේ ගීතයේ රචකයා වන්නේ සමන්ත හේරත්. පද වල අගය තීව්ර වන සේ සංගීතය මුසු කරලා තියෙන්නේ ප්‍රේමසිරි කේමදාස.

Advertisements

Posted in ආදරය, ගීත හා කවි, Uncategorized | Tagged: , , , , , , , | 4 Comments »