Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

Archive for the ‘Uncategorized’ Category

මේ වැටෙන්නේ ආදරයේ උණුම උණු කඳුළු බිඳුවයි …………..

Posted by lostinromance මත ජූලි 17, 2011

සිත යකාගේ කම්මලක් මෙන් වෙයි. ඔබ කරන දේවල් ගැන වැටහීමක් නොමැතිව යයි. සාංකාවක් වැනි හැඟීමක සිරවී පැය ගණන් දැවී අළුවී යයි. නැවත ගොඩ ඒමක් නොමැති බව ඔබට හැඟෙයි. කිසිම දෙයක් කිරීමට හිත හදාගත නොහැක. අතීත මතකයන් අතර සිරවී ඇත. ඔබට ලෝකය එපා වී යයි. ලෝකයට ඔබව එපා වී ඇතැයි හැඟෙයි. ලෝකය ඔබව තනිකර දමා ඇත.

එය හා සම කල හැකි වෙනත් හැඟීමක් මානව හැඟීම් අතර නොමැත. ඔබගේත් ආදරය අහිමිවී ගියාද? දරාගත හැකි නොහැකි ඒ හැඟීම ඔබව ටිකින් ටික මරා දමමින් සිටී ද? ඒ හැඟීම වටහාගත හැක්කේ වරක් එය අත් දැක ඇති කෙනෙකුටම පමණි.

මෙවැනි තත්වයකදී අනුගමනය කල යුතු උපදෙස් පොත් වල, වෙබ් අඩවිවල කොතරම් තිබුනත් එවැන්නක් සිදු වූ මොහොතක ඔබට ඒවා බලන්නට වත් හිතෙන්නේ නැති බව ඇත්තය. බැලුවත් ඒවායේ තියෙන දේවල් කරන්නට කරන්නට පුළුවන්ද යයි ඔබට සිතෙනු ඇත. එහෙත් මා විශ්වාස කරන්න, ඔබට දැනෙන හැඟීමම මේ ලෝකයේ බොහෝ දෙනා ජීවිතයේ එක් වරකදී හෝ මීට පෙර අත්දැක ඇත. එය අතිශයින් සාමාන්‍ය දෙයකි. එබැවින් ඔබ දැන් අත්විඳින දුෂ්කර සහගත කාලයෙන් ගැලවීමක් නොමැත. ඔබට කළ හැක්කේ එම කාලය කෙටි කර ගැනීම පමණි.

ආදරය බිඳ වැටුන මොහොතේ කළ යුත්තේ කුමක්ද?

1. ඔබේ ජීවිතයේ එදිනෙදා කරන සාමාන්‍ය දේවල් අතපසු නොකරන්න.

– කෑම, බීම වෙලාවට ගැනීම අතිශයින්ම වැදගත්ය. නෑම ඒ හා සමානව වැදගත්ය. හැකිතරම් ජලය පානය කරන්න.

2. ව්‍යායාම්

– ඔබ සාමාන්‍යයෙන් ව්‍යායාම් කරන අයෙක් නම් එය නොකඩවා කරගෙන යන්න. නොකරන අයෙක් නම් දිනකට සුළු වෙලාවක් හෝ ව්‍යායාම්වල නිරත වීමට උත්සාහ කරන්න.

3. සිහිවටන ඇස නොගැටෙන ලෙස තබන්න.

– ඔබ දෙදෙනාගේ ආදරය නැවත නැවත සිහිවන දෑ අසල තබා ගැනීමෙන් වළකින්න. පින්තූර, සිහිවටන, SMS ආදී සියල්ල විනාශ කර දමන්න. එසේ කිරීමට අපහසු නම් නොපෙනෙන මානයක තබන්න.

4. හැකිතරම් මිතුරන්, පවුලේ අය සමඟ කාලය ගත කරන්න. නිවසේ හුදකලාව සිටීමෙන් වළකින්න.

5. මත්පැන් කෙටි කාලීන පිළිතුරක් ලෙසට හැඟී යා හැකි නමුත් එය ඔබව තව තවත් වියවුලට පත් කරන බව මතක තබා ගන්න.

කාලය ඔබේ සන්තාපයට විසඳුම් ලබා දෙනු ඇති. ඉවසීමෙන් කාලය ගත කරන්න. දුකට ඔබව පරාජය කිරීමට ඉඩ නොදෙන්න.

Advertisements

Posted in ආදරය, Uncategorized | Tagged: , , , , | 2 Comments »

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මොනව ද මේ අරගෙන එන්නේ …….

Posted by lostinromance මත මාර්තු 17, 2010



ආදරේ කියන වචනේ නම් මේ දවස්වල හතර වටින් කන් දෙක පිරෙන්න ඇහෙනවා. එෆ්.එම්. එකක් ටියුන් කලත් ටී.වී. චැනල් එකක් දැම්මත් ඉරිදා පත්තරේක ටැබ්ලොයිඩ් අතිරේකයක් ගත්තත් පර්සනල් බ්ලොග් එකක් බැලුවත් ෆේස් බුක් එක බැලුවත් ආදරේ දෝරෙ ගලනවා. ඇත්තටම මේවයේ තියෙන විදියට මිනිස්සු ආදරේ කරනවා නම් මේ ලෝකේ කොච්චර සුන්දර තැනක් වෙයි ද? ඇත්තටම මෙහෙම සුන්දර පරම පිවිතුරු ආදරයක් අපි ජීවත්වෙන ලෝකේ පවතිනවා ද?

මට නම් පේන්නේ ආදරය පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වෙලා ඒකෙ තියෙන වටිනාකම අධිනිශ්චය කිරීමක් වෙලා තියෙනවා කියලා. කටුක සත්‍යය තමයි සැබෑ ආදරය මිය ගිය හෝ මිය යාමට ආසන්න කාලයක තමයි අපි ඉපදිලා ඉන්නේ. නිවෙන්න ළං වුනාම ඉටි පන්දමක දීප්තිය වැඩි වෙනවා වගේ ආදරයේ දීප්තියත් දැන් වැඩි වෙලා තියෙන්නේ. හාට් එකක් ගහලා දුන්නොත් ඕන දෙයක් මාකට් වෙන සීන් එකක් තමයි තියෙන්නේ. අපිත් ආදරේ කඩෙන් අරන් හරි හිත ඇතුලෙන් හිතලා හිතලා මවාගෙන හරි ආදරණීය පෙම්වතුන් පෙම්වතුන් පෙම්වතියන් වෙන්න තමයි සිහින මව‍න්නේ.  ආදරේ සුව උපරිමයෙන් විඳින ආදරණීය කපල් එකක් කියලා ලෝකෙට පෙන්නන්න තමයි කවුරුත් ට්‍රයි කරන්නේ. සමහරවිට අපි ඇත්තටම හදවතිනුත් එහෙම හිතනවා. ඒත් අපි නොදන්න දේ තමයි අපි තවත් හුවමාරු භාණ්ඩයක ගණුදෙනු කාරයෝ බවට පත් වෙලා කියලා.

ඇත්තටම හිතලා බැලුවොත් අපි අපගේ පෙම්වතා/පෙම්වතිය සොයා ගැනීමේ සිට ආද‍රයේ විවිධ ඉසව් සොයා යාමේ දී ඒවායේ හුවමාරු වටිනාකම අවිඥානිකව ගණනය කරනවා. මම මේක කිව්වහම කව්රු හරි කියන්න පුළුවන් අනේ මම නම් ලව් කරන කෙනා නම් දුප්පත් කෙනෙක් නේ කියලා. ඇත්තටම මම හුවමාරු වටිනාකම කියන එකෙන් අදහස් කලේ වත් පොහොසත්කම (විතරක්) නෙවෙයි. ඊට වඩා පුළුල් අර්ථයෙන්. ඒත් ඒක ගැන වැඩිපුර විස්තර කරන්න ගියොත් මගේ බ්ලොග් එකේ සීමාවෙන් එපිටට යන නිසා වැඩිපුර විස්තර කරන්න මම කැමති නෑ.

ඉතින් ආදරේ ගැන රොමෑන්ටික් දෙවල් ගැන සිහින ලෝකයක ඉඳගෙන ලියන මම පොඩ්ඩක් සැබෑ ලෝකයට අවතීර්ණ වෙලා ආදරේ ගැන පියවි සිහියෙන් හිතන්න තමයි පොඩ්ඩක් ට්‍රයි කලේ. මොකද සිහිනය සුන්දර වෙන්න නම් සැබෑව ගැන පොඩි හැඟීමකුත් ඇති කරගෙන ඉන්න ඕනෑනේ. ආදරේ ගැන මේ විදියට ලිව්වා කියලා මාත් එක්ක පාඨකයෝ තරහ වෙන එකක් නෑ කියලා මම උපකල්පනය කරනවා.

ඒ කෙසේ වෙතත් ආදරේ මොන ස්වරූපයකින් තිබුනත් මේ පිස්සු විකාර නිරුදක ලෝකේ යාන්ත්‍රික මිනිස් ජීවිත වලට තියෙන එකම දිය බිඳ ආදරේ කියන එක නම් බොරුවක් නෙවෙයි. (ආදරේ අද කාලේ මෙච්චර මාකට් වෙන්න හේතුවත් ඒකම තමයි) ඒකයි මිනිස්සු කොච්චර අපහසු වුනත් සැබෑආදරයක් සොයා ගන්නට විඳින්නට උත්සාහ කරන්නේ. ඉතින් ඒ ආදරය සොයා ගෙන යන ආදර යාත්‍රා‍ව ඔයාලත් එක්ක හබල් ගාන්න ලොස්ට්INරොමෑන්ස් ඕන වෙලාවක සූදානම්.

Posted in ආදරය, Uncategorized | Tagged: , , , , , , | 2 Comments »

සොඳුරිය

Posted by lostinromance මත පෙබරවාරි 14, 2010

සොඳුරිය….
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැක ගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය ….

පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය ….

ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය ….


ආදරයත් එක්ක අවියෝජනීයව බැඳී තියෙන තවත් දෙයක් තමයි විරහව. මම මෙහෙම කිව්වහම පාඨ‍ක ඔබ හිතයි ඇයි මේ වැලන්ටයින් දවසේ විරහව ගැන කථා කරන්නේ කියලා. ආදරවන්තයන්ගේ දවසේ හැමෝම ආදරය ගැන කථා කරන හින්දා මම හිතුවා ඊට වෙනස්ව ගිහින් ආදරයේ විරහව ගැන කථා කරන්න ඕනෙ කියලා.

ඒත් එක්කම මගේ මුවට ආපු ගීතය තමයි ඔය ඉහත ලියවිලා තියෙන්නේ. මම මාර ආස කරන සින්දුවක්. ඉතිං විරහව ගැන කථා කරන එක පැත්තකින් තියලා මේ සුන්දර ගීතය ගැන කථා කළාට කවුරුවත් මාත් එක්ක තරහ වෙන එකක් නෑනේ. මේ ගීතය තියෙන අපූර්වත්වය තමයි මේ ගීතයේ කියවෙන ප්‍රේමය බිඳී යාමට වරදකරුවා ලෙස ප්‍රකාශ වෙන්නේ “කාලය”. ඒකට හේතුව තමන්ගේ පෙම්වතියගේ වැරැද්දක් වත් තමන්ගේ වැරැද්දක්වත් නොවන බවයි මේ පරාජිත පෙම්වතා පවසන්නේ. ඇත්තටම පරාජිත ආදරයක දී පෙම්වතියගේ වරදින් එය සිදු වුනා නම් ඒක ගැන හිතලා හරි අමාරුවෙන් අමතක කරලා දාන්න පුළුවන්. තමන්ගේ අතින් වුන වැරද්දකින් ඒක සිදු වුනා නම් සදාකාලික පසු තැවිල්ලක් ඉතිරි වෙයි. ඊට වෙනස්ව බාහිර හේතුවක් නිසා සිදු වුනු හෝ බාහිර දෙයක් වෙතට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් හේතුවක් නිසා එය සිදු වුනා නම් ඒක වෙනස්ම විදියක අත්දැකීමක්.

මේක ඉතාමත් අමාරුවෙන් සොයා ගත්තු ආදරයක් බව “පෙරුම් පුරා දුකසේ ගලපා ගත්” “ලොවට හොරා විලි ලා බිහි කර ගත්” වැනි යෙදුම් තුලින් මේ පෙම්වතා අපිට අඟවනවා. අමාරුවෙන් හොයා ගත්තු ආදරයක් කැඩිලා බිඳිලා ගියාම ඇති වන වේදනාව ඉතින් කියන්න ඕන නෑනේ. ඒක හරියට හදවත ඉරි තැලී ගියා වගේ අත්දැකීමක්. කාලයත් එක්ක ඉරි තැලීම් එකතු වෙලා ගියත් එයින් ඇති වුනු රේඛා මැකෙන්නේ නෑ. ඒවා සදාකාලිකයි. ආදරය කරන කාලෙදි හිතේ තියෙන සුන්දරම කවිය තමයි තමන්ගේ ආදරවන්තිය. ආදරය බිඳ වැටිලා සිහින මාලිගා කඩා වැටුනට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒ හීනයෙන් ඈත් වෙලා අපේ ජීවිත සටනේ යෙදෙන කොට එයා අපේ හීන වලින් ඈත් වෙලා යනවා. ඒක තමයි ඇත්ත. ඒත් හදවතේ කාටවත් හොයා ගන්න බැරි තැනක තියෙන ඒ මතකය අපිව හුදකලාවේ ඉන්න මොහොතක අපිව මුසපත් කරනවා. ඒවගේ හුදකලාවේ ඉන්න ආදරවන්තයෙක් මුවින් ගැයෙන ගීතයක් විදියට තමයි මට මේක දැනෙන්නේ. “ඒ රුව කෙතරම් මිහිරි ද සොඳුරිද…” ඒ දවස්වල මවපු හීන වල සුන්දරත්වය මතක් වෙන කොට කාල තරණය කරලා නැවත ඒ මොහොතට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඉතින් මේ සේරම දේවල් වලට වරදකරුවා කාලය නැත්නම් වෙන මොකක්ද?

ආදරය කරද්දී බාධාවේ අගය ගැන මම කලින් පෝස්ට් එකක කථා කලානේ. මේ පෙම්වතාටත් තමන් විඳපු දුක් වල මිහිර දැන් තමයි දැනෙන්නේ. අනේ ඒ දවස්වල ඒක දුකක් කියලා හිතුවේ ඇයි? දුක් කම්කොටළුවලින් ඈත් වෙලා බාධා නැති සුන්දර ආදරය කියන මිරිඟුව හොයා ගෙන ගියාට පස්සේ තමයි තේරෙන්නේ දුක් කම්කොටළු පිරුණු පරණ ආදරයේ සුන්දරත්වය.

ඔබත් විරහවේ තියෙන අමුතු සුන්දරත්වය (?) අත්විඳලා බලන්න කැමති නම් නිහඬ පරිසරයක හුදකලාවේ ඉන්න රාත්‍රී කාලයක සඳ එළියේ ඉඳගෙන මේ ගීතය අහලා බලන්න. ඔබ විරහව අත්විඳලා නැතත් ඒක මොනවගේ දෙයක් ද කියලා පොඩ්ඩක් හරි තේරුම් ගන්න ඔබට පුළුවන් වෙන බවට කිසිම අවිශ්වාසයක් නෑ.

අමරසිරි පීරිස්ගේ හැඟීම්බර හඬින් ගැයෙන මේ ගීතයේ රචකයා වන්නේ සමන්ත හේරත්. පද වල අගය තීව්ර වන සේ සංගීතය මුසු කරලා තියෙන්නේ ප්‍රේමසිරි කේමදාස.

Posted in ආදරය, ගීත හා කවි, Uncategorized | Tagged: , , , , , , , | 4 Comments »

Bad Blogging

Posted by lostinromance මත පෙබරවාරි 2, 2010

සමාවෙන්න ඔනේ. සෑහෙන කාලෙකින් අළුත් පෝස්ට් එකක් දාන්න බැරි වුනා. හිටිය පාඨකයො ටිකත් නැති වෙලා ගිහිල්ල ද දන්නෙ නෑ. 🙂 කොහොම නමුත් ආයෙත් ‍ඇක්ටිව් විදියට බ්ලොග් අවකාශයට ඇතුළු වෙන්න තීරණය කලා. බලමු මේ පාර කොහොම වෙයි ද කියලා. මම පහුගිය ටිකේ ඇක්ටිව් නොවුනත් සෑහෙන පිරිසක් තාමත් මගේ බ්ලොග් එකට එන බව ස්ටැට්ස් වලින් පේනවා. වැඩි පිරිසක් කියවන කොට ඉතින් ලියන්න තියෙන උනන්දුව වැඩිවෙනවානේ. මට හිට්ස් වදින්නේ කොත්තු හරහා විතරයි. සිංහල බ්ලොගර් එකෙත් සින්ඩිකේට් කලොත් ඉතින් තව වැඩිපුර කට්ටියක් කියවයි කියලා හිතෙනවා. එත් ඉතින් මාව ගත්තේ නෑනේ. මාව නොගන්න හේතුවක් මට නම් පේන්නේ නෑ. එත් ඉතින් ගන්නේ නැත්නම් මැරෙන්නද? 🙂 හැමෝම දිගටම මාත් එක්ක ඉඳියි කියලා බලාපොරොත්තු වෙනවා.

– LIR –

Posted in Uncategorized | 8 Comments »

The Reader (2008) – II

Posted by lostinromance මත නොවැම්බර් 22, 2009

( I කොටස )

එතැන් සිට චිත්‍රපටය දිවයන්නේ මෙම නව යොවුන් තරුණයාත්, තරුණ විය පසු කරමින් සිටින වෘත්තියෙන් ට්‍රෑම් රථ කොන්දොස්තරවරියක වන ගැහැණියත් අතර ඇති වන අතිශය සමීප, ලිංගිකත්වය හා ආදරය කැටිවූ සම්බන්ධය විදහා දැක්වෙන රූප රාමු පෙලක් ඔස්සේ යි‍. ආදරය හා ලිංගිකත්වයට සීමා මායිම් නොමැති බව මෙම රූප රාමු පෙළ ප්‍රේක්ෂකයාට යළි යළිත් පසක් කර දේ. ඉතා මැනවින් හා සංයමයෙන් රූගත කර ඇති මෙහි ඇති ලිංගික හා ආලිංගන දර්ශන මෙම සබැඳියාවේ ගැඹුර ඉතා හොඳින් ප්‍රකට කරවයි.

තමන් පාසලේ උගන්නා ලෝක ප්‍රකට සාහිත්‍ය කෘති රැගෙන ගෙන එන ඔහු ඒවා ඇයට ඇසෙන්නට කියවයි. ඇය ඔහුට ළංව ඒවා රස විඳියි. චිත්‍රප‍ටයේ නාමය වන ද රීඩර් යන්න ගොඩනැගෙන්නේ ද මේ කථා කියවීම හරහා බව මේ වන විට ප්‍රේක්ෂකයාට ඒත්තු යයි. ඇය තමන්ගේ කියවන කථා ඇසීමට ප්‍රියකරන බව දන්නා ඔහු එය ඉමහත් උනන්දුවකින් සිදු කරයි. ඇගේ සිතැඟි කෙරේ අතිශයෙන් සංවේදී මයිකල් පාසලේ දී සම වයසේ රූබර තරුණියන්ගෙන් ලැබෙන ආදර ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ ඔහු එම ගැහැණිය කෙරේ ආශක්තව ඇති ප්‍රමාණය අපට පෙන්වමිනි. එමෙන්ම කලින් පෞරුෂත්වයක් නොමැති ඔතෑනි යෞවනයකු වූ මයිකල් මේ අසම්මත සම්බන්ධයත් සමඟ හොඳ පෞරුෂත්වයක් සහිත ක්‍රියාශීලී තරුණයකු බවට පත්වේ. එය සිදුව‍න්නේ යහනේ දෙව්දුවක් වන් මෙම රූබර ගැහැණිය සමඟ රමණයේ යෙදීමට ලැබීම යන සම වයසේ අනෙක් යෞවනයන්ට භුක්ති විඳීමට නොලැබෙන ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නිසා ‍ඔහු තුල ගොඩනැගෙන මානසික විශ්වාසය නිසා නො‍වේ ද?

තමන් අතර ඇති වයස් සීමා පරතරය හා බාහිර නොගැලපීම ‍ආදිය ආදරයෙන් වෙලුන ඔහුට නොපෙනී යන අයුරු මෙහි හොඳින් නිරූපණය වෙයි. එම ගිම්හානයේ දවසක ඇය හා ඔහු බයිසිකල් සවාරියක යෙදේ. එහි දී හමුවන ගැහැණියක් ඇයව ඔහුගේ මව ලෙස සිතයි. සමාජ සම්මතයන්ට පිටුපා යාමට කැමති යොවුන් වයසේ පසු වන ඔහු ඇගේ එම හඳුන්වා දීම තුලින් තමන්ගේ වීරත්වයක් දුටුව ද හැනා එය කෙරෙහි සංවේදී වෙන අයුරු අපට තිරය මත පෙනේ.

හැනා ද මයිකල් සමඟ කාලය ගත කිරීමෙන් සතුටු වන බව හා ඔහුට ආලය කිරීමට පටන් ගෙන ඇති බවක් අප දුටුව ද ඇගේ චරිතය පුරා දිවයන ගුප්ත බව අප සසල කරවයි. ඇය කිසියම් රහසක් සඟවා ගෙන සිටින ගැහැණියක් බව මෙම චරිතය රඟන ශූර නිළිය තමන්ගේ විස්මිත රඟපෑම ඔස්සේ නිරන්තරයෙන් පෙන්වයි. ඇය සඟවා ගෙන සිටින රහස කුමක් ද? අප කිසිසේත්ම නොසිතන එවැනි මානයක් පුද්ගලයෙකුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමට සමත් වන්නේ කෙසේ ද?

ඔවුන් එකතුව ගෙවන එම ගිම්හාන‍යේ කෙළවර දිනෙක කිසිම ළකුණක් ඉතිරි නොකර ඇය තම නවාතැනෙන් සමුගෙන යයි. තමන් ගේ අවසන් හමුවේ දී ඇයගේ හැසිරීම ගැන සැක සිතුනු මයිකල් නැවත ඇගේ නවාතැනට පැමිණි විට තමන්ගේ සැකය හරි බව ඔහුට පෙනෙයි. එමඟින් ඔහු දරා ගත නොහැකි ශෝකයට පත් වෙන නමුත් ඔහුගේ ජීවිතය ඉදිරියට ගලා යයි. චිත්‍රපටය තුල අපට නැවත ඔහු හමුවන්නේ අට වසරකට පසු නීති ශිෂ්‍යයෙකු ලෙසයි.

ඔවුන‍්ගේ දෙවන හමු වීම සිදුවන්නේ කෙසේ ද? හැනා අනුකම්පාව ලැබිය යුතු චරිතයක් ද? නැතිනම් ඇය මුහුණ දුන් ඉරණම ඇයට උරුම වූවක් ද? සම්මත වුවද අසම්මත වුවද ආදරය යනු මිනිස් ජීවිත සසල කර දමන කිසිදා කිසිවෙකුට තේරුම් කළ නොහැකි අත්දැකීමක් නොවන්නේ ද? ඒ හා බැඳුනු සිදුවීම්, භෞතික දෑ ජීවත් වන තුරා අපගේ අධ්‍යාත්මය සමඟ කෙලෙස බැඳී පවතී ද?

මෙම පැන ඔබට ඉතිරි කරමි.

අධ්‍යක්ෂණය – ස්ටීවන් ඩැල්ඩ්‍රි
හැනා – කේට් වින්ස්ලේ
මයිකල් – රැල්ෆ් ෆියෙන්ස්
මයිකල් (තරුණ) – ඩේවිඩ් ක්‍රොස්

චිත්‍රපටිය ගැන වැඩිපුර  විස්තර අයි.එම්.ඩී.බී, විකිපීඩියාව

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , | 2 Comments »