Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

The Reader (2008) – II

Posted by lostinromance මත නොවැම්බර් 22, 2009

( I කොටස )

එතැන් සිට චිත්‍රපටය දිවයන්නේ මෙම නව යොවුන් තරුණයාත්, තරුණ විය පසු කරමින් සිටින වෘත්තියෙන් ට්‍රෑම් රථ කොන්දොස්තරවරියක වන ගැහැණියත් අතර ඇති වන අතිශය සමීප, ලිංගිකත්වය හා ආදරය කැටිවූ සම්බන්ධය විදහා දැක්වෙන රූප රාමු පෙලක් ඔස්සේ යි‍. ආදරය හා ලිංගිකත්වයට සීමා මායිම් නොමැති බව මෙම රූප රාමු පෙළ ප්‍රේක්ෂකයාට යළි යළිත් පසක් කර දේ. ඉතා මැනවින් හා සංයමයෙන් රූගත කර ඇති මෙහි ඇති ලිංගික හා ආලිංගන දර්ශන මෙම සබැඳියාවේ ගැඹුර ඉතා හොඳින් ප්‍රකට කරවයි.

තමන් පාසලේ උගන්නා ලෝක ප්‍රකට සාහිත්‍ය කෘති රැගෙන ගෙන එන ඔහු ඒවා ඇයට ඇසෙන්නට කියවයි. ඇය ඔහුට ළංව ඒවා රස විඳියි. චිත්‍රප‍ටයේ නාමය වන ද රීඩර් යන්න ගොඩනැගෙන්නේ ද මේ කථා කියවීම හරහා බව මේ වන විට ප්‍රේක්ෂකයාට ඒත්තු යයි. ඇය තමන්ගේ කියවන කථා ඇසීමට ප්‍රියකරන බව දන්නා ඔහු එය ඉමහත් උනන්දුවකින් සිදු කරයි. ඇගේ සිතැඟි කෙරේ අතිශයෙන් සංවේදී මයිකල් පාසලේ දී සම වයසේ රූබර තරුණියන්ගෙන් ලැබෙන ආදර ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ ඔහු එම ගැහැණිය කෙරේ ආශක්තව ඇති ප්‍රමාණය අපට පෙන්වමිනි. එමෙන්ම කලින් පෞරුෂත්වයක් නොමැති ඔතෑනි යෞවනයකු වූ මයිකල් මේ අසම්මත සම්බන්ධයත් සමඟ හොඳ පෞරුෂත්වයක් සහිත ක්‍රියාශීලී තරුණයකු බවට පත්වේ. එය සිදුව‍න්නේ යහනේ දෙව්දුවක් වන් මෙම රූබර ගැහැණිය සමඟ රමණයේ යෙදීමට ලැබීම යන සම වයසේ අනෙක් යෞවනයන්ට භුක්ති විඳීමට නොලැබෙන ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නිසා ‍ඔහු තුල ගොඩනැගෙන මානසික විශ්වාසය නිසා නො‍වේ ද?

තමන් අතර ඇති වයස් සීමා පරතරය හා බාහිර නොගැලපීම ‍ආදිය ආදරයෙන් වෙලුන ඔහුට නොපෙනී යන අයුරු මෙහි හොඳින් නිරූපණය වෙයි. එම ගිම්හානයේ දවසක ඇය හා ඔහු බයිසිකල් සවාරියක යෙදේ. එහි දී හමුවන ගැහැණියක් ඇයව ඔහුගේ මව ලෙස සිතයි. සමාජ සම්මතයන්ට පිටුපා යාමට කැමති යොවුන් වයසේ පසු වන ඔහු ඇගේ එම හඳුන්වා දීම තුලින් තමන්ගේ වීරත්වයක් දුටුව ද හැනා එය කෙරෙහි සංවේදී වෙන අයුරු අපට තිරය මත පෙනේ.

හැනා ද මයිකල් සමඟ කාලය ගත කිරීමෙන් සතුටු වන බව හා ඔහුට ආලය කිරීමට පටන් ගෙන ඇති බවක් අප දුටුව ද ඇගේ චරිතය පුරා දිවයන ගුප්ත බව අප සසල කරවයි. ඇය කිසියම් රහසක් සඟවා ගෙන සිටින ගැහැණියක් බව මෙම චරිතය රඟන ශූර නිළිය තමන්ගේ විස්මිත රඟපෑම ඔස්සේ නිරන්තරයෙන් පෙන්වයි. ඇය සඟවා ගෙන සිටින රහස කුමක් ද? අප කිසිසේත්ම නොසිතන එවැනි මානයක් පුද්ගලයෙකුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමට සමත් වන්නේ කෙසේ ද?

ඔවුන් එකතුව ගෙවන එම ගිම්හාන‍යේ කෙළවර දිනෙක කිසිම ළකුණක් ඉතිරි නොකර ඇය තම නවාතැනෙන් සමුගෙන යයි. තමන් ගේ අවසන් හමුවේ දී ඇයගේ හැසිරීම ගැන සැක සිතුනු මයිකල් නැවත ඇගේ නවාතැනට පැමිණි විට තමන්ගේ සැකය හරි බව ඔහුට පෙනෙයි. එමඟින් ඔහු දරා ගත නොහැකි ශෝකයට පත් වෙන නමුත් ඔහුගේ ජීවිතය ඉදිරියට ගලා යයි. චිත්‍රපටය තුල අපට නැවත ඔහු හමුවන්නේ අට වසරකට පසු නීති ශිෂ්‍යයෙකු ලෙසයි.

ඔවුන‍්ගේ දෙවන හමු වීම සිදුවන්නේ කෙසේ ද? හැනා අනුකම්පාව ලැබිය යුතු චරිතයක් ද? නැතිනම් ඇය මුහුණ දුන් ඉරණම ඇයට උරුම වූවක් ද? සම්මත වුවද අසම්මත වුවද ආදරය යනු මිනිස් ජීවිත සසල කර දමන කිසිදා කිසිවෙකුට තේරුම් කළ නොහැකි අත්දැකීමක් නොවන්නේ ද? ඒ හා බැඳුනු සිදුවීම්, භෞතික දෑ ජීවත් වන තුරා අපගේ අධ්‍යාත්මය සමඟ කෙලෙස බැඳී පවතී ද?

මෙම පැන ඔබට ඉතිරි කරමි.

අධ්‍යක්ෂණය – ස්ටීවන් ඩැල්ඩ්‍රි
හැනා – කේට් වින්ස්ලේ
මයිකල් – රැල්ෆ් ෆියෙන්ස්
මයිකල් (තරුණ) – ඩේවිඩ් ක්‍රොස්

චිත්‍රපටිය ගැන වැඩිපුර  විස්තර අයි.එම්.ඩී.බී, විකිපීඩියාව

2 Responses to “The Reader (2008) – II”

  1. L G said

    මම ලගදි බලපු චිත්‍රපට වලින්, වඩාත්ම සිත් ගත්ත වගේම , හිත සලිත කරපු චිත්‍රපටියක් තමයි මේක. ආදරයට සීමා මායිම් නෑ.

    මයිකල්, හැනාට ආදරය කළේ පුදුම තරම් ගොඩක්, ගැටවර කොල්ලෙක් ලිංගිකව හැසිරීමට පමණක් ආශාවෙන් , ගැහැණියකට ලං වුන අවස්තාවක් නොවේ මේක

    හැනා සමග ඇති වුන ආදර සම්බන්ද්යෙන් ඔහු සිත තුල ඇති කල හැගීම් කොයි තරම් ප්‍රබලද යන්න අපිට වැටහෙනවා කතාවේ අවසානය තෙක්ම..

    මම මුලින්ම කියෙව්වේ පොත. පසුවයි ‍ෆිල්ම් එක බැලුවේ. ‍ෆිල්ම් එක පොතට අසාධාරනයක් කරලා නැති බවයි මගේ නම් අදහස.

    මයිකල්, හැනා චරිත අති විශිෂ්ට රංගනයක යෙදෙනවා..

    සම්මත – අසම්මත මේ මොන ආකාරයෙන් විග්‍රහ කරත් , ආදරය කියන්නේ මිනිස් ජීවිත සසල කර දමන කිසිදා කිසිවෙකුට තේරුම් කළ නොහැකි අත්දැකීමක් !

  2. මේ ෆිල්ම් එක සම්බන්ධව මට තියෙනෙනේ මාර කරුමයක්.

    මම මේ ෆිල්ම් එක්කේ ඩීවීඩී එකක් මුලින්ම ගත්තේ මේ ෆිල්ම් එක පිටවුනු මුල් දිනවලමයි. ඒත් බලන්න බැරි වුනා කාලයක් යනකම්. දවසක් බලන්න ගනිත්දි එකේ සවුන්ඩ්ස් නෑ. පස්සේ බයිස්කෝප් සයිට් එකෙන් බා ගත්තා. ඒකත් මුලින් කචල් වුනා.

    පස්සේ ආයි පාරක් ඩීවීඩී එක ගත්තා. දැන් ඒක අතට අහුවෙන තැනක තියලා තියෙනවා ඉක්මනට ම බලන්න කියලා. මේක දැක්කාම හිතුනේ මම මේ වීක් එන්ඩ් එකේ නම් බලනවාමයි කියලා.

දුකා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න